ජාතික රණවිරු සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්.ත්‍රිවිධ හමුදාවේ රැසකට උසස්වීම්.

පූර්ණ නිදහස තවමත් අත්පත් කරගෙන නොමැති බවත්, බලය වෙනුවෙන් උතුරේ සහ දකුණේ ජාතිවාදය නැවත කරළියට පැමිණෙමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දශක 3ක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කරමින් ලක් මාතාවට නිදහස දිනාදුන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීමේ 16 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින්.

පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අසලදී මෙය පැවති අතර, අවසන් මානුෂීය මෙහෙයුමට දායකවූ එවකට ත්‍රිවිධ හමුදාපතිවරු ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකද මෙම අවස්ථාවට එක්වුණා.

ප්‍රථමයෙන් මෙම විරුවන්ගේ සම්ප්‍රාප්තිය සිදුවූ අතර අනතුරුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක 16වැනි ජාතික රණවිරු සැමරුමට එක්වුණේ.මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ මව්පියන් ඇතුළු පවුල්වල ඥාතීන් මෙන්ම ආබාධිත රණවිරුවන් ද ආචාර පෙළපාලියකින් රණවිරු ස්මාරකය සමීපයට පැමිණියා.ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්වූ අතර සැමරුම් උත්සවය අරඹමින් ජාතික ගීය ගායනා කළේ ඉන්අනතුරුවයි. පසුව සර්වආගමික  වතාවත්  පවත්වනු ලැබුවා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා සැමරුම්උත්සවය අමතනු ලැබුවේ.අනතුරුව විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවතුණේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින්.රණවිරුවන්ට බුහුමන් පුදමින් රණබෙර වාදනය කෙරුණේ ජීවිත පූජා කළ එම රණවිරුවන්ට ගෞරවාචාර පුද කිරීම සඳහායි.

මව්බිමේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කළා.
සම්භාවනීය ආරාධිතයින් ද රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ ඉන් අනතුරුවයි.

තිස් වසරක යුද්ධය නිමා කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් එවකට ත්‍රිවිධ හමුදාපතිවරු ලෙස අනුපමේය මෙහෙයක් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා.

අනතුරුව රට දැය වෙනුවෙන් දිවි හිමියෙන් රණබිමේ සටන් වැද, ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, දරුවන් ඇතුළු ඥාතීන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළ අවස්ථාව ඉතා සංවේදී වුණා.

මේ අතර, ජනාධිපතිවරයා අද පෙරවරුවේ අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනය වෙත ගොස් එහි සිටින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසනු ලැබුවා.

එහි සිටින රණවිරුවන් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව, ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ආබාධිත රණවිරුවන් සමග පිළිසරදකද නිරත වුනා.
මේ අතර, 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමීව යුධ හමුදාවේ 10,093 දෙනෙකුට, නාවික හමුදාවේ 1,278 දෙනෙකුට සහ ගුවන් හමුදාවේ 877 දෙනෙකුට ද උසස්වීම් පිරිණමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *