
ශ්‍රී ලංකාව තුළ 2024 වසරේදී HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම වසර තුළදී රෝගීන් 800 කට වඩා හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2024 වසරේදී මෙරටින් හඳුනාගැණුනු රෝගීන් 824 පිළිබඳ සලකා බලන විට එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමක් පෙන්නුම් කරයි.2023 වසරේදී මෙරටින් හඳුනා ගෙන ඇති HIV/AIDS රෝගීන් සංඛ්‍යාව 694 කි.
2024 වසරේ හඳුනාගෙන ඇති ඒඩ්ස් ආසාදිත පිරිමි පුද්ගලයන්ගෙන් 99 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයන් වේ.
2024 දී වාර්තා වූ HIV රෝගීන් අතරින් එම වසරේ සිව්වැනි කාර්තුවේදී එනම් ඔක්තෝබර්-දෙසැම්බර් මාසවල රෝගීන් 210 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2009 වසරේ සිට ගත් කළ එක් කාර්තුවක වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම 2024 දී මෙරටින් HIV/AIDS ආශ්‍රිත මරණ 47ක් වාර්තා වී ඇති අතර මෙරට තුළ 2024 දී HIV පරීක්ෂණ මිලියනයකට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර, මෙරට තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අතර HIV රෝගීන් 18ක් නිල වශයෙන් වාර්තා වී ඇති අතර, 2009 වසරේ සිට මේ දක්වා මෙරටින් එච්අයිවී ආසාදිත පිරිමි 4,909ක් සහ කාන්තාවන් 1,521 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ වෛද්‍ය නිලධාරියෙක් ජනමධ්‍ය වෙත පවසා ඇත්තේ 2023 වසරේ HIV ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇති බවයි.
ආසාදිතයින් ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පරීක්ෂණ ධාරිතාවය පුළුල් වීම, ලිංගික අධ්‍යාපනය සහ අවදානම් ලිංගික හැසිරීම් පිළිබඳ ජනතාව අතර ඇති දුර්වල දැනුම සහ අදාළ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම රෝගීන්ගේ වැඩිවීමට හේතු විය හැකි බවයි.


