ගැටළු රැසක් මැද සිරි දළදා වන්දනාව අවසන්.

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" පසුගිය (27) වැනිදා අවසන් වුණි.

ලක්ෂ දහයකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා ගෙවුණු දින 10 තුළ මහනුවරට පැමිණ තිබුණත් දළදා වහන්සේ වැදපුදාගැනීමට හැකිව ඇත්තේ ලක්ෂ හයක පමණ බැතිමතුන් පිරිසකට පමණක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව මගින් කෘත්‍රිම බුද්ධිය (ඒ.අයි. තාක්ෂණය) උපයෝගි කර ගනිමින් සිදුකළ ගණනය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය විය.පසුගිය (17 වැනිදා) සිට 27 වැනිදා දක්වා දින දහයක් පුරා සිරි දළදා වන්දනාව පැවැති අතර මේ සඳහා දිවයිනේ සතර දෙසින්ම විශාල පිරිසක් මහනුවර ට පැමිණ තිබිණි.

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ පසුගිය (27) වැනිදා දින පමණක් හැත්තෑ හයදහසක බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සිදුකර තිබුණු අතර වන්දනා වාරය එදින පස්වරු 5.30 ට පමණ අවසන් වූයේ පෝලිම්වල රැඳී සිටි දහස් ගණනකගේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තු සුන් කරමිනි.

වී.අයි.පී. පෝලිම් ක්‍රියාත්මක වීමත් පෝලිම්වලට පිටින් ආරක්ෂක අංශ හා බලධාරීන් ඔවුන්ගේ හිතවතුන් ඇතුළු කිරීමත් නිසා මෙම තත්ත්වය ඇති වූ බව බැතිමතුන් චෝදනා කර සිටියේය.

පසුගිය 22 දින ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පෝලිම්වලට එක්ව සිටීම නිසා නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාවට නොපැමිණෙන ලෙස පොලිසිය දැනුම් දීමක් කළේය. ඒ වනවිටත් බස් රථවලින් පැමිණි පිරිස් මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට පත් වූ අතර මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පමණක් එලෙස ජනතාව පැමිණි බස් රථ 32 ක් ගාල්කර තිබිණි.

මේ ආකාරයෙන් මහනුවරට ඇතුළු වන සියලු ප්‍රධාන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදා වන්දනා නඩ අදාළ ස්ථානවල නතර කිරීමට පොලිසිය කටයුතු කළේ ඒ වනවිටත් මහනුවර නගරයට දරාගත නොහැකි ජන ගඟක් ගලා තිබූ බැවිනි. දිනකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව තිබෙන බව පොලිසිය පැවසුවත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ නියෝජිතයන් කළ විද්‍යාත්මක ගණනය කිරිමේ දී හෙළි වූයේ දළදා වන්දනාව සඳහා දිනකට වෙන්කර තිබෙන පැය 6 1/2 ක කාලයේ දී උපරිම ලෙස වන්දනා කළ හැක්කේ සැදැහැවතුන් 70000 කට අඩු පිරිසකට බවයි.

මේ අතර ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවති දින 10 තුළ මහනුවර නගරයේ එක්රොක් වූ ටොන් 650ක් පමණ වූ කැළි කසළ කළමනාකරණය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.

මහනුවර නගරයේ කැළි කසළ බැහැර කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදුකළද මෙවන් අවස්ථාවක එවැනි ක්‍රමවේදයන් භාවිත කිරීමට අපහසු බව ත් වෙන් වෙන් වශයෙන් කැළිකසල බැහැර කිරීමට කසළ බඳුන් නගරයේ ස්ථාපිත කොට තිබුණද දළදා දැක්මට පැමිණි ජනතාව ඒ කෙරෙහි නිසි දැනුවත් නොවීම හේතුවෙන් කිසිදු පිළිවෙලකින් තොරව කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් වූ බව ත් ඇය කීවාය.

මේ වන විට තෝරා වෙන් නොකළ මිශ්‍ර කසළ ටොන් 625ක් පමණ මහනුවර මහ නගර සභාවට අයත් ගුහාගොඩ කසළ අංගණයට බැහැරකොට ඇති බව ත් මෙම කසළ තොගය වර්ගීකරණය කිරීම දිගු කාලයක් ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වන බව ත් කොමසාරිස්වරිය සඳහන් කළා ය.එබැවින් කොළඹ මහනගර සභාව සමග සාකච්ඡා කොට මෙම කැළි කසළ ටොන් 625 කොළඹට යවා කොළඹ නගර සභාවේ කසළ දහන ඒකකය මගින් දහනය කොට විනාශ කිරීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳ ම තීරණය මෙය බව ද ඇය කීවා ය.

මේ සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පූර්ණ සහාය ලබා ගන්නා බවත් නගරයේ කසළ ඉවත් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙන් ම විවිධ සංවිධාන සහ පුද්ගලයෝ විශාල වශයෙන් සහාය වූ බව ත් මහ නගර සභා කාර්ය මණ්ඩලයට මෙන්ම එම කාරියට සහාය දුන් සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *