අවුරුද්දට ගමේ ගිය අයට කොළඔ එන්න විශේෂ බස් හා දුම්රිය සේවා.

අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගී ජනතාවට යලි කොළඔට පැමිණීම සදහා අවශ්‍යතාවය අනුව (පසුගිය 15 වැනිදා) දිනයේ සිට විශේෂ බස් රථ හා දුම්රියන් ධාවනයට එක්කර ඇතිබව ප්‍රවාහන බළධාරීන් පවසයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ,17 වැනිදා සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර 15 වැනිදා සාමාන්‍ය කාර්යාල දිනයක් වු බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අමතර දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවයි.

මේ අතර අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වු බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි 187ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.අනුමත බස් ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ඒ අතර වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවාය.1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අදාළ පැමිණිලි ලැබී ඇතැයි පැවසු නයෝමි ජයවර්ධන මහත්මිය ටිකට්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති අතර, අදාළ පැමිණිලි විමර්ශනය කරන බව ද කියා සිටියාය.


මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ, ඉන් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවය.පසුගිය (15) දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලබා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *